ඉතිහාසය

මෙරට ඉපැරණි පරිපාලන ව්‍යුහයක් වු “පළාත් ක්‍රමය “ පළාත් 05ක් ලෙස ක්‍රි.ව 1833 දි අධීරාජ්‍යවාදින් යටතේ කොල්බෲක් /කැමරන් කොමිෂන් සභාව මඟින් නීතිගත කරන ලදි. ක්‍රි.ව.1873 දී පරිපාලන පහසුව සඳහා උතුරු මැද පළාත නමින් නව ඒකකයක් හදුන්වා දෙන ලදි. ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක සාධක සැලකීමේදි ක්‍රි.පූ.09 වන  සියවස වන විටත් ආසියාවේ ප්‍රධාන නාගරික ජනාවාස දහය තුලට ඇතුලත්වන ආකාරයේ මානව ක්‍රියාකාරකම් මෙම භුමි භාගය තුල විද්‍යමාන වේ. ලෝකයේ සංරක්ෂිත, සංවර්ධිත හා  දීර්ඝතම ආයුකාලයක් වාර්තාකළ ඓතිහාසික රාජධානි දෙකක් වු අනුරාධපුර හා පො‍ළොන්නරුව විශිෂ්ඨ නිර්මාණ ආදර්ශයන් සහිත වාපි ශිෂ්ටාචාරයක අක්මුල් හා තිරසාරත්වය, එම භුමියෙහි උරුමකරුවන්ගේ වෘත්තිකභාවය තහවුරු කරයි.

පූර්ව යටත්විජිත යුගයේ වු දොලොස් දිසාවන් තුල නුවරකලාවිය හා තමන්කඩුව ලෙස නම් වු භුගෝලීය ප්‍රදේශය වර්තමානයේ උතුරු මැද පළාත ලෙස හැඳින්වේ. වර්ග කිලෝමිටර 10172ක භුමියකින් යුත් මෙම පළාතේ මධ්‍යගත වාර්ෂික ජනගහනය මිලියන 1.4කට ආසන්නය. ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 29ක් ද එහි උප ඒකකයන් වන ග්‍රාම සේවා නිළධාරි කොට්ඨාශ 988ක් ද තව දුරටත් බෙදි පැතිරෙන ගම්මාන 3248ක් ද මෙහි පරිපාලන ඒකක ලෙස දක්නට ලැබෙයි. ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදුන් පළාත් සභා ක්‍රමය යටතේ ස්ථාපිත වු  පළමු පළාත් සභාවන් අට අතරට උතුරු මැද පළාත් සභාව ද අයත් විය. ආරම්භක පරිපාලන ව්‍යුහය අමාත්‍යාංශ  පහක් හා ප්‍රධාන ලේකම් කාර්යාලයකින් සමන්විත වු අතර උතුරු මැද පළාත් කළමණාකරන සංවර්ධන හා පුහුණු ඒකකය ප්‍රධාන ලේකම් කාර්යාලයය යටතේ මෙහෙයවනු ලැබිණ.

“පරිපූර්ණ මහජන සේවකයෙක් , ගුණාත්මක මහජන සේවයක් ”යන දැක්ම යටතේ මෙම ආයතනය , උතුරු මැද පළාත් රාජ්‍ය සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරිමේ අරමුණින් ප්‍රධාන ලේකම් කාර්යාලීය අධික්ෂණය යටතේ වු ඒකකයක් ලෙස ආරම්භ විය. උතුරු මැද පළාත් කළමණාකරණ සංවර්ධන පුහුණු ඒකකය මඟින් මේ දක්වා රාජ්‍ය නිළධාරින් සඳහා වන දැනුම කුසලතා හා ආකල්ප සංවර්ධනය කෙරෙහි යොමුවු පුහුණු වැඩසටහන් වැඩමුළු විවිධාංගිකරණයෙන් යුතුව ක්‍රියාත්මක වු අතර ජාත්‍යන්තර  ජාතික හා පළාත් ප්‍රවණතාවයන් අනුව එහි මෙහෙයුම් ක්‍රියාවලිය නව හැරවුම් ලක්ෂයක් ගෙන ඇත. එබැවින් නව දැක්මක්, මෙහෙවර ප්‍රකාශයක් හා හරාත්මක වටිනාකම් හඳුනාගැණුන අතර, සැසිවාර කිහිපයක් අවසානයේ මෙම උපාය මාර්ගික සැලැස්ම තුලින් නව දිශානතියකට යොමුව තිබේ. ඒ සඳහා හේතුසාධක වී ඇත්තේ වර්තමානයේ සමාජ ආර්ථික ප්‍රවණතා හා දත්ත විශ්ලේෂණයන් වේ.